ඉගිල්ලිලා යන්න වාහනයක් ගමුද?

ඉගිල්ලිලා යන්න කෙසේ වෙතත්, යන්න ඕනි තැනට වෙලාවට ප්‍රවේශමෙන් යෑමත් අද මහත් අභියෝගයකි. වාහනයකද, පයින්ද දෙකටම මෙම කාරනය පොදුය. මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ අද අපේ රටේ රථ වාහන ධාවනය කරන බොහෝමයක් දෙනා කුහක හදිසි කාරයන් වීමයි. බොහෝ දෙනෙක් අසාමාන්‍ය ලෙස මාර්ග නීති තම තමන් විසින් කඩා දමන අතරම, එම වැරැද්දම වෙන එකෙකු අතින් සිදුවීම තරයේ පිලිකුල් කර බැන වැදීමටද ඉතාම සමත්ය.

අතේ ඇති සොච්චම වියඳම් කොට කෙසේ හෝ වාහනයක් හිමිකර ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන අතර ඔවුන් වැඩි දෙනාගේ බලාපොරොත්තුව සුවපහසු ගමනකට වඩා වෙනත් දේයි. සමහරවිට මූලික අරමුන සුවපහසු ගමනක් වුවත් රථය මිලදීගෙන ටික දිනකින් බොහෝ දෙනෙකුගේ හැසිරීම අසාමාන්‍ය ලෙස වෙනස් වේ. මම දැක ඇති සුලභ දසුනක් නම් ජැන්ඩියට ඇඳගත් තරුණ අඹු සැමි යුවල අලුතෙන්ම ගත් හුරුබුහුටි කාරය එයට දරා ගත නොහැකි වූ වේගයකින් මාර්ගයේ ධාවනය කිරීමත්, තම වේගයට බාධා කරන ඕනෑම වෙනත් වාහනයකට අසභ්‍ය ලෙස නලාව ශබ්ද කොට රවා බැලීමත්ය. මෙවන් බොහෝ දෙනෙකුට දාඩිය පෙර පෙරා පැය ගනනක් බස් රථයේ තමන් ගාටපු කාලය අමතකය. තමන් උපදින විටම තම මවගේ කුසයෙන් රථ වාහනයක්ද තමන්ට හිමිවූ බව ඔවුන්ගේ මතකයයි.

වෙනත් අයගෙන් තමන්ට ලද සරදම්ද මතකයේ තබාගෙන, ඉගෙන ගත හැකි සියලු ජඩ ක්‍රියාවන් රථය ම්ලදීගෙන ඉතා කෙටි කාලයකින් මොවුන් ඉගෙන ගනියි. අනෙක් සියලු වාහන පේලියට තදබදයේ මන්දගාමීව ගමන් කරන විට, මාර්ගයේ දකුණු මං තීරුවෙන් සියලු වාහන පසු කොට සිංහ ලීලාවෙන් වේගයෙන් ඇදී යන්නට මොවුන් දක්වන්නේ ඉමහත් ලැදියාවකි. තවද එම දකුණු මං තීරුවෙන් ඉදිරියට මුහුණලා එන වාහනය කෙසේ හෝ තමන්ට යාමට ඉඩ සලසා දීම යුතුකමක් ලෙසද මෙම ජඩයන් තරයේ විශ්වාස කරයි. 

මාර්ගයේ සුනඛයන් ලෙස හැසිරෙන ‍මෙම මිනිස් පරපුර දුටුවිට ඔවුන්ගේ මානසිකත්වය, සැබෑ බුද්ධි මට්ටම හා පවුල් පරිසරය මොනවට පැහැදිලි වේ. දියුණු රටවල මෙවන් අවස්ථා ඉතාමත් අල්පය. මන්ද යත් නීතිය කඩකරන්නා හට ප්‍රජාව ඉදිරියේ ඉමහත් ලැජ්ජාවට පත්වීමත් එමගින් ඔවුන් දීර්ඝ කාලයක් මුලුල්ලේ ස්වයං විනයක් ලබා ඇති නිසාත්ය. මෙරටට රථවාහන ගලා අවේ මෙහි වෙසෙන මිනිසුන්ට එහි නියම ප්‍රෙයෝජනයවත් දැනෙන්නට පෙරය. නමුත් වෙනත් දියුණු රටවල් මෙය අත්විඳින්නේ අශ්ව කරත්තයේ සිටය. යන කරත්ත මාර්ගයේ එක් පැත්තකිනුත්, එන කරත්ත මාර්ගයේ අනෙක් පැත්තෙනුත් යමු යනුවෙන් සම්මුතියකට එලඹුනේ කරත්ත ගැටීමෙන් ඇතිවු මහත් කරදර වලක්වා සියලු දෙනාටම සම‍සේ සුවය අත්විඳීමටයි. සියවස් ගනනක් තිස්සේ පුරුදු පුහුණු වූ මෙම සම්මුතීන් ඔවුන්ගේ පාරම්පරික රුධිරයට කාවැදී ඇත‍, කඩකරන්නෙකු සිටී නමි ඔහු සැබවින්ම මානසික රෝගියෙක් පමනකි. වැඩිවන අවශ්‍යතා පිරිමැසීමට ඔවුහු අශ්ව කරත්තය ටිකෙන් ටික දියුණු කොට අද අප දකින තත්ත්වයට පත් කොට ඇත. නමුත් අපට මෙය මහා අරුම පුදුම භාණ්ඩයකි. වේගයෙන් ගමන් යා හැක, තමා‍ උසස් කුලයක යැයි අනෙක් අයට පෙන්විය හැක, උදේ 5 ට නැගිට රාජකාරී සඳහා පිටත් වෙනවා වෙනුවට රාජකාරී වෙලාවට විනාඩි 10 ක් තබා පිටත්විය හැක. මෙලෙස එක් එක්කෙනාට මෙය එක එක දේවල් කර දෙනවා විනා ගමන් පහසුව සැලසීම මූලික කාර්‍ය්‍යක් ‍නොවෙයි. ඉතින් පාරේ දකුණු මං තීරුවේ ඉඩ දුටුවිට සිතෙන්නේ, ඇයි මේ මෝඩයෝ පාරේ මෙපමණ ඉඩ තිබියදීත් කාලකණ්නින් ලෙස එය පාවිච්චි නොකර සිටින්නේ යනුවෙනි. ඉතින් අලුතින් ‍දෙයක් සොයාගත් විද්‍යාඥයකු ලෙස දකුණු මං තීරුවේ ඇදීගොස් මං තීරු දෙකම අහුරවයි. එහෙත් මුහුනේ ගාම්භීර බව මිසක් ලැජ්ජාවක් නම් අහලකවත් නැත. මටනම් ඔහු මානසික රෝගියෙක් පමනකි. කනගාටුවට කරුණ නම් සුද්දන් අශ්ව කරත්ත වලින් ඉගෙන ගත් ‍දෙය අපි තව සියවස් කොපමන ගෙවාවත් ඉගෙන ගැනීමට නොහැකිවේද යන හැඟීමයි. 

 

කම්මනා වසලෝ හොථි.. කම්මනා හොථි බ්‍රාහ්මණො..

ලේඛකයා පසුගිය අවු. 2-3 ඇතුලත උගත් වැදගත්ම දෙය ඕනෑම මිනිස් කුලකයක් සමන්විත වන්නේ අඩු වැඩි වශයෙන් හොඳ නරක ගුණාංගයන්ගෙන් යුතු වන්නන්ගෙන් බවයි. කිසිසේත්ම කිසියම් මිනිස් කුලකයක් සම්පූර්ණයෙන්ම ආර්ය හෝ පිරිසිදු වන්නේ නැත. එමෙන්ම එනයින් කිසියම් මිනිස් කුලකයක් සම්පූර්ණයෙන්ම අපිරිසිදු පිළිකුල් කටයුතු වන්නේද නැත. මෙය ඕනෑම රටකට, ජාතියකට, වෘත්තියකට, ආගමකට පොදු ලක්ෂණයක් ලෙස ලේඛකයා දකියි.  තමන් ආර්ය පිරිසිදු මිනිස් කොටසක් යැයි කියාගන්නෝ ලොව සැමදා සිටියහ, සිටිති. එය සත්‍යය වන අවස්ථාවන් බුදුන් වහන්සේ කෙනෙක් තම බුද්ධත්වය ප්‍රකාශ කරන අවස්ථාව, රහතන් වහන්සේ කෙනෙක් තම රහත් බාවය ප්‍රකාශ කරන අවස්ථාව වැනි ඉතාම විරල අවස්ථාවන් වේ.  වැඩි මනත්ම තමන් ආර්ය පිරිසිදු මිනිස් කොටසක් යැයි කියාගන්නන් ලෝකය වෙත ගෙන ආවේ සාමය සෞභාග්‍ය නොව යුද්ධය හා විනාශයයි. ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මන් ජාතිකයන් පිරිසිදු ආර්ය ජාතිකයන් බවත් නිල් ඇස් ඇති යුදෙව්වන් පිළිකුල් කටයුතු පහත් එවුන් බවත් කියමින් පටන් ගත් ජර්මනිය පිරිසිදු කිරීමේ ව්‍යාපාරය අවසානයේදී නැවතුනේ මිලියන 60කට අධික මිනිස් සංහාරයකින් බව අප සැවොම දනිමු. පැරණි ඉංදියානු බමුණන් විසින් ඉගැන්වූ කුලය පිළිබඳ සංකල්පය අදටද ඉංදියානු ජන සමාජයට කර ඇති හානිය සුලු පටු නොවේ. මිනිසුන්ගේ සමේ වර්ණයේ වෙනස්කම් පාදක කරගෙන එදා මෙදා තුර ඇතිවූ යුධ ගැටුම් වලින් මිය ගිය සංඛ්‍යාව ඉතා විශාල අගයක් ගනියි. මෙසේ කිසියම් මිනිස් කොටසක් විසින් තම ආගම, සමේ වර්ණය, කුලය, ජාතිය අනෙකාගේ ආගමට, සමේ වර්ණයට, කුලය, ජාතියට වැනි නොයෙක් ලක්ෂණයන්ට වඩා උසස් යයි කියාගනිමින් ආරම්භ වූ යුධ ගැටුම් වලින් ලෝක ඉතිහාසය පිරී පවතී. අදටද එවැනි ගැටුම් වලින් කිසිසේත්ම අඩුවක් නැත. නමුත් මෙම වැදගත් කරුණ එතරම් සමාජයේ අවදානයකට ලක්ව ඇති බවක් නොපෙනෙයි. මෙම ඉතාම වැදගත් එමෙන්ම ඉතාම සරල තත්වය අප සමාජයට කොතරම් දුරට අමතක වී හෝ අමතක කරවා ඇතිදැයි අප බෞද්ධ සංඝ සමාජය ඇසුරින් පැහැදිලි කිරීමට ලේඛකයා බලාපොරොත්තු වෙයි. ලිපිය ආරම්භයේදීම  ලේඛකයා බෞද්ධයෙක් වන අතර බුදුන් වහන්සේ සත්ත්වයාගේ පැවැත්ම හා සංසාර නමැති නොනවතින චක්‍රයෙන් ඉවත්වන ආකාරය ගැන දැක්වූ අදහස් විශ්වාස කරන බව අවදාරනය කරයි.

උදාහරණයක් ලෙස පසුගිය වසරේ(2011) ලංඩන් තේම්ස් විහාරාදිපති ධුරය දැරූ පහළේගම සෝමරතන චීවරධාරියාට එරෙහිව ඉදිරිපත්වූ බාල වයස්කාර දැරියන් කිහිපදෙනෙක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා හා ඒ ආශ්‍රිත සිද්ධි ගනිමු (පසුව ඔහු මෙම චෝදනාවලට වැරදිකරු විය ).   මෙම කරුණ අරබයා සංෂිප්තයක් පහත යොමුවෙන්

http://www.thesundayleader.lk/2012/05/06/pedophile-buddhist-sanghanayaka-of-great-britain-and-the-sri-lankan-media/

මෙම සිද්ධීන් සිදුවී තිබුණේ 1977, 1978 හා 1985 යන වර්ෂ වලදීය. නමුත් මෙම කාන්තාවන් (එවකට වයස අවු. 10, 16, 14 වයස් වල පසුවූ බාල වයස්කාර දැරිවියන්) 2010 වසර වන තෙක් මේ සම්බන්ධයෙන් කට ඇරියේ නැත්තේ මන්දැයි  යන්න මෙහිදී පැන නැගුනු ප්‍රධාන ප්‍රශ්නයක් විය. මෙහිදී එක් කාන්තාවක් ලබාදුන්  පිළිතුර බොහෝදෙනාගේ අවදානයට ලක් විය. ඇයගේ පිළිතුරේ අදහස වූයේ මේ සම්බන්ධයෙන් නීතිය හමුවට ඒමත් සමග මෙය ප්‍රසිද්ධ වන බවත් එයින් තමන්ගේ පියා ඉමහත් සිත් තැවුලට පත් වීමට ඉඩ තිබුණු බවත් එම නිසා තම පියා මිය යන තෙක් මේ සම්බන්ධයෙන් නීතිය හමුවට ඒමට සිටි බවත්ය.

සමාජය විසින් ගරු පුද සත්කාර කරන චීවරධාරීන් අතරද සාමාන්‍ය මිනිසුන් අතර මෙන්ම ශ්‍රේෂ්ඨ ගති පැවතුම් ඇති අයවලුන් මෙන්ම ඉතාම පහත් සමාජයට අහිතකර අයවලුන්ද සිටින බව ඉහත සිද්ධි දාමය සාක්ෂි සපයයි. නමුත් මෙම කරුණ අප සමාජය සැළකිල්ලට ගෙන ඇත්ද? කිසිසේත්ම නැත. අප සමාජය චීවරයක් දරාගත් ඕනෑම පුද්ගලයෙක් සාරිපුත්ත, මොග්ගල්ලාන හිමිවරුන් නියෝජනය කරන නිර්මල මනුෂ්ය්‍ය කොට්ඨාෂ්‍යයක් ලෙස කුඩා දරුවන්හට උගන්වයි. බෞද්ධ ආගමික දෙමව්පියෝ චීවරයක් පොරවාගත් ඕනෑම මිනිසෙක් හෝ ගැහැනියක් ඉදිරියේ තමන්ද වැඳ වැටී තම දරුවන්ට ද වැඳ වැටීමට  උගන්වති. ඔබ බෞද්ධයෙක් නම් තමන් කිසිදා දැක නැති හුදෙක් චීවරයක් පොරවා සිටි පමණින් වැඳ වැටුනු වාර ගනන සිහිපත් කරන ලෙස ලේඛකයා ඉල්ලා සිටියි. සමහර විට ඔබ එසේ වැඳ වැටුනු චීවරධාරීන් නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවල නියැලෙන්නන් බව ඔබ දැන සිටි අවස්ථා ද තිබිය හැක. ඉතින් එසේ ඔබ යමෙක් ඉදිරියේ වැඳ වැටිය යුත්තේ ඇයි දැයි කල්පනා කර බැලුවා ද?

වරක් ලේඛකයාගේ ගුරුවරයෙකුගෙන් මේ පිළිබඳව විමසා සිටි විට ඔහුගේ පිළිතුර වූයේ දුසිල් බව තමන් හොඳින්ම දන්නා චීවරධාරියෙකු ඉදිරියේ වැඳ වැටෙන්නේ තමන්ගේම මාන්නය දුරු කර ගැනීමේ අදහසින් බවයි. මෙම අදහස සුප්‍රකට තායි ජාතික  හිමිනමක වූ අජාන් චා ද තම දේශනා වලදී තම ශිෂ්‍යයන්ට යෝජනා කර සිටියි. තවද ලේඛකයාගේ ගුරුවරයා පැවසුවේ තමන් ගරු කරන හිමිනමක් ඉදිරියේ වැඳ වැටීමේදී තමන් ඉදිරියේ මේ සිටින්නේ බුදුන් ගත් මග ගත් ශ්‍රේෂ්ට මිනිසෙකුට බව හැම විටම සිහිපත් කරන බවයි.

නමුත් බොහෝ බෞද්ධයින් චීවරයක් පෙරවා ගත් ඕනෑම පුද්ගලයෙක් ඉදිරියේ වැඳ වැටෙන්නේ හුදෙක් අප බෞද්ධ සමාජයේ එවැනි සම්ප්‍රදායක් පවතින නිසාත් චීවරයට ගරුකළ යුතුයැයි මතයක් සමාජයේ තදින් මුල්බැසගෙන ඇති නිසාත්ය. මෙම අදහසින් පුද්ගලයෙකු ඉදිරියේ වැඳ වැටීමට ලේඛකයා තරයේ විරුද්ධ වෙයි.

චීවරය යනු විලි වසා ගැනීමට පාවිච්චි කරන ඇඳුමක් වන අතර බුදුන් වහන්සේ විසින් අමු සොහොනට ගෙනත් දමන ලද මළ මිනීවලින් ගත් රෙදි අමුනා ඊට පඬු පොවා හැඳ පෙරවීමට පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටියේම හුදෙක් හැඳ සිටින ඇඳුම එතරම් වැදගත් නොවන බව තම ශිෂ්‍යයින්ට උගැන්වීම් වස් බව අපට අමතක වූයේ කොතැනකදී දැයි අප නැවත සළකා බැලිය යුතු බව ලේඛකයා යෝජනා කරයි.

නොයෙකුත් සම්මා ආජීවක මෙන්ම එසේ නොවන ව්‍යාපාරයන්හි යෙදෙන, දේශපාලන කටයුතුවල නියැලෙන, නොයෙකුත් රැකියා වල නියැලෙන, ජොතිශ්‍ය කටයුතු වල නියැලෙන චීවරය දරාගත් පුද්ගලයෝ කොතෙකුත් අප සමාජයෙහි වෙති. ඔවුන්ගේත් සාරිපුත්ත, මොග්ගල්ලාන වැනි සංසාර චක්‍රයෙන් ඉවත් වීමේ තිර අරමුණින් වෙහෙස නොබලා ක්‍රියා කල අවසානයේදී තම අරමුන සාක්ෂ්‍යාත් කරගත් ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේත් වෙනස කුමක්දැයි ඔබ කල්පනා කර බැලුවාද? මෙහිදී එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් අද නැතැයි ඔබ කල්පනා කරන්නේ නම් එය වැරදි අදහසක් බව ලේඛකයා ඔබට අවදාරනය කර සිටියි. ලේඛකයාට එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් කිහිප දෙනෙකුම මුන ගැසී ඇති බැවිනි. බුදුන් වහන්සේ දැරූ චීවරය දරාගෙන සංසාර චක්‍රයෙන් ඉවත් වීමට තම හැකි පමණින් වෙර වෑයම් කරන්නෙක්ම සන්ඝයා වහන්සේ නමක් ලෙස ලේඛකයා දකියි.  චීවරයක් දරන ඕනෑම පුද්ගලයෙක් ඔවුන් හැඳ පෙරවන චීවරයෙන් තොරව හුදෙක් එම චීවරය පිටුපස සිටින පුද්ගලයා ගේ ගති ගුනම සැලකීම වැදගත් බව ලේඛකයා ඔබට යෝජනා කර සිටියි.

ලේඛකයාගේ අදහස අනුව අප කිසිවෙක් සමඟ ඇසුරු කළ යුත්තේ(වෘත්තීය ඇසුරක් මෙහිදී අදහස් නොකෙරේ) ඔහු හෝ ඇයගේ රට, ජාතිය, කුලය, ශරීර වර්ණය, නියැලෙන වෘත්තිය ආදී ඔහු හෝ ඇය අයත් වන කුලකයක් සළකා නොවේ. හුදෙක්ම අදාල පුද්ගලයාගේ ගතිගුනම සළකා ඇසුරු කළ යුතු බව ලේඛකයාගේ අදහසයි.

“කිසිවෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මනයෙක් නොවේ. ක්‍රියාවෙන්ම හේ වසලයෙක් හෝ බ්‍රාහ්මනයෙක් වේ” යන බුදු වදන ලේඛකයා ලිපිය අවසන් කරමින් ඔබට සිහිපත් කරයි .

රහස් පාඩම 101

 Image

සිරිපා සමය එලඹී ඇත. සමනල අඩවියට පිවිසීමට මාර්ග කිහිපයක් ඇතත් ප්‍රසිද්ධ මාර්ග වන්නේ හැටන් නල්ලතන්නිය, කුරුවිට එරත්න හා රත්නපුර පලාබද්දල හරහා වැටී ඇති මාර්ගයන්ය. මෙය බොහෝ දෙනෙකුට වන්දනා ගමනක් වන අතර තවත් සමහරුන්ට විනෝද ගමනකි. කෙසේ වෙතත් මෙම අඩවිය පූජනීය මෙන්ම පාරිසරික වැදගත් කමක් ඇති ප්‍රදේශයකි. 

කන්දේ මුදුනට ගමන් කිරීමට දවසක් හෝ ඊට ආසන්න කාලයක් ගතවන බැවින්, වන්දනා නඩ කෑම බීම රස කැවිලි ආදිය ගෙන යෑමට අමතක නොකරයි. තවද ගමන ආරම්භ කල අවස්ථාවේ සිටම නොයෙකුත් කඩචෝරු වලින්ද බඩ පුරවා ගන්නේ නැවත කිසි දිනක කෑමක් නොලැබෙන්නේ යැයි සිතා ලෙසය. ඇතුලට දාගත් බොහෝ දෑ ගමන අතරතුරම එලියට පහ කල යුතුද වේ. හමුදා භටයන්ට පිං සිදුවන්නට සිරිපා සමය ආරම්භ කල මුල් මාස කිහිපයක්, අවශ්‍ය කර්තව්‍ය කර ගැනීමට වැසිකිලි කිහිපයක් ඉතා පිරිසිදු අන්දමින් තිබේ. නමුත් ජනී ජනයාගෙන් පිරෙත්ම මෙම වැසිකිලි පාවිච්චිය කෙසේවෙතත් ඒවා අසලකින් ගමන් කිරීමද අපහසුය. ජනයා වැඩිවත්ම වැසිකිලි අවීචි මහා නරකාදි බවට පත්වීමේ රහස ජලයේ හිඟ කමින් සිදුවන්නක්ද? නැත, ජලයේ අඩු කමක්ද පෙනෙන්නට නැත.මෙම බොහෝ වැසිකිලි අසල ජලයද නොඅඩුව තිබෙනවා මා අපමන දැක ඇත. එසේ නම් මෙය දේව ශාපයකින්වත් සිදුවන්නක්ද?  

බර ඉවසා ගත නොහැකි වූ ඇතමෙක්, තැන් හත අටකින් අඩිය හිල්වුනු බාල්දිය උස්සාගෙන වැසිකිලිය වෙත වේගයෙන් දුවන්නේ වතුර ඉවර විමට පෙර තමාගේ සියලු කටයුතු අහවර කොට, දියේ ගිලී සිටි මිනිසෙක් ගොඩට පනිනා ආකාරයෙන් ඉක්මනින්ම එලියට පැන පපුව පුරා හොඳ හුස්මක් ගැනීමටය. අමාරුවෙන් වැසිකිලියට ඇතුලුවන ඔහු, දන්නා සියලු කලාවන් යොදා කකුල් දෙකේ ඇඟිලි දෙකක් තබා ගැනීමට පමනක් තැනක් සොයා ගන්නට සමත් වන්නේ දොරටුවට ආසන්නයෙන්ම පමනකි. ඔහුගේ භාරය නිදහස් කොට පැමිනි පසු, තවකෙකුට එහි ඉඩක් සොයා ගැනීම ඉමහත් අපහසු කාර්‍යයක් වන නමුත් හිස් අතින් ආපසු හැරී එන කෙනෙක් නැති තරම්ය. මෙලෙස පෝෂනය වන අපාය, අවීචි මහා නරකාදිය බවට පත්වන්නට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. 

පාසලේදී අප උගත් දෙය කුමක්ද? 

“වැසිකිලි යාමෙන් පසු සබන් යොදා දෑත් සෝදා ගන්න“

බොහෝ දෙනෙක් මෙය අකුරටම පිලිපදියි. වියලි ප්‍රදේශයකදී වුවද තමන් බීමට ගෙනා වතුර බෝතලයෙහි ඉතුරුවුණු සුලු ජල ප්‍රමාණයෙන් හෝ අත සෝදාගන්නට අමතක නොකරයි. එසේ සෝදා නොගත්තොත් සමාජයට සෘජු බලපෑමක් නැත, බලපෑම තමාටයි. තමා ලඟින් දූර්ගන්ධයක් පිට වේ යැයි බියට හෝ ඇතමෙක් අත සේදීමට උත්සුකවේ.

අප පාසලේදී නොඋගත් දේ කුමක්ද? 

“වැසිකිලි යාමෙන් පසු වැසිකිලිය පිරිසිදු කිරීමට පලමු තැන දෙන්න“

මෙය ඉටුකිරීමට වැඩිදෙනෙකු පෙලඹෙන්නේ නැත. හේතුව එය පාසලේදී නොඋගත් නිසා නොව, එය නොකිරීමෙන් තමන්ට බිය වීමටවත්, ලැජ්ජාවටවත් කරුණක් නොවේ යන ආකල්පයයි. කොටින්ම එය ඉටු කිරීමෙන් තමන්ට ප්‍රයෝජනයක් නැතැයි යන ආකල්පයයි. නමුත් අවසානයේ වන්නේ තමාටත් මා පෙර විස්තර කල අපහසු අවස්ථාවන්ට පත්වීමටයි.

සමාජයට කරනා අසාධාරණය සෘජුවම තනි තනි වශයෙන් එකිනෙකාට බලපාන බව මිනිසුන්ට නොවැටහෙන්නේ ඇයිදැයි මාහට තේරුමි ගැනීම අපහසුය. “වැසිකිලි යාමෙන් පසු තම අධෝ මාර්ගය හොඳහැටි සෝදාගන්න“ යැයි පාසලේදී අපට නොඋගැන්වුවත් සෑම කෙනෙක්ම තම අධෝ මුඛයට අසාධාරනයක් ඉටුනොකරයි. මන්ද යත් එය තමන්ගේය යන හැඟීමත්, අධෝ මුඛයෙන් එන දූර්ගන්ධයකට තමාට සමාජය ඉදිරියේ තනිවම ලැජ්ජා වීමට වේ යැයි භීතියක් ඇති නිසාය. නමුත් තම භාරය සිත් සේ නිදහස් කොට, තම අධෝ මාර්ගය සහ දෑත් මනාව සෝදා ගන්නා ඇතමෙක් තම සියලු කාර්‍යයන් හමාර යැයි සිතා, තවත් සුලු අමතර වෙහෙසක් දරා පිරිසිදු වැසිකිලියක් අනෙකෙකුට ලබා දීමට කටයුතු නොකොට, මහත් ආඩමිබරයෙන් ඉවත බලා යනවිට ලැජ්ජාවක් හෝ භීතියක් උපදින්නේ නැත්තේ මන්ද?

මෙලෙස සමාජ අසාධාරණයට නොබියව, තම තමාගේ පෞද්ගලික අභිප්‍රායන් සඵල කර ගැනීමට වෙර දරන සමාජයක, යමෙකුගේ අසාධාරණ ක්‍රියාව ඔහුට කෙටිකාලීන ලාභය ගෙන දුන්නද එම අසාධාරණයේ සෘජු අහිතකර බලපෑම් තමා සතුමය. මෙම නිසා සමාජයට කරනා අකටයුතු තමාට ආපසු සමාජයෙන්ම ලැබීම දේව ශාපයක් හෝ දේව හාස්කමක් නොව අපගේම ක්‍රියාවේ පරාවර්ථනයයි. 

 

 

අම්මාගෙන් හොරාකන පුත්තු

රටක් අම්මා ලෙසත් පුත්තු රටෙහි වෙසෙන ම්නිසුන් ලෙසත් වශයෙන් උපකල්පනය කොට පුතුන් අම්මාගෙන් සොරාකනවිට අම්මාටත් පුතුන්ටත් අත්වන ඉරණම  අප ව්ෂ්ලේශණය කර බලමු. මේ සඳහා මා අම්මා සහ පුතකු අතර සිදුවන සරල අවස්ථාවන් කිහිපයක් උදව් කරගන්නවා.

1. පවුලේ අවශ්‍යතාවයන් සපුරා දීමට මෙන්ම ෙතමපුතුන්ගේ බඩගින්න ඉක්මනින් සහ පහසුවෙන් නිවාලීමට මේ අම්මාට ගෑස් උඳුනක් අවශ්‍ය වෙනවා. මෙය ගෙන්වාගැනීමට මව තම පුතාගේ සහය පතනවා.

2. අම්මාගෙන් මුදල් ලබාගන්නා පුතු තම මිත්‍රයකුගෙන් උඳුන ලබාගන්නේ තම මව දුන් මුදලට වඩා අඩුවෙනි. එහි අදහස නම් ලබාගත් මුදලින් කොටසක් තම සවකීය ප්‍රෙයෝජනය සඳහා ඩැහැ ගැනීමයි.

3. උඳුන ලබාගැනීමෙන් මව ඉමහත් සතුටට පත්වන අතර ඈ තම පුතු කල උපකාරය ඉහලින් අගයයි. මේ අතර පුතා කරුණු දෙකක් මත ප්‍රීතියෙන් ඉපිලෙයි. තම මව මෙම ගණුදෙනුව පිළිඹඳව ඈගේ සතුට ප්‍රකාෂ කිරීමත් සහ තම ප්‍රෙයෝජනය සඳහා සෑහෙන මුදලක් හිමිවීම එම කරුණු දෙකය.

4. මීලඟට මවට අවශ්‍ය අනෙකුත් බොහෝ දෑ සවකීය අවංක පුතනුවන් ලවා ගෙන්වා ගැනීමට මව නොපසුබට වෙයි. පුතණුවන් ද තම මවගේ ඉල්ලීම නොපිරිහෙලා ඉටු කිරීමට කෑදර වෙයි.

මෙම සංසිද්ධිය ආරම්භ කොට ටික දිනක් ගෙවෙත්ම නිවසෙහි සස්‍රීක භාවය මවටත් පුතාටත් ඉමහත් සේ විඳීමට හැකිවේ. නිවස සියලු සුකුරුත්තම් වලින් පීරී ඇත. මව දුක් මහන්සියෙන් උපයාගත් ධනයෙන් තම පුතාට සුපිරි වටපිටාවක් සකසා දී ඇතැයි සතුටුවෙයි. මෙ අතර පුතණුවන්ගේ අතමිට සරුය. පැතූ සියල්ල තම ව්යදමින් මිලදී ගනියි. ඔහුගේ අදහස නම් ඔහු තම මවට ඉතා විශාල සේවාවක් කරමින් එම සේවාවට කමිෂන් එකක් ලබා ගන්නා බවත් එය හොඳ ආදායම් මාර්ගයක් බවත්ය. නමුත් පුතා නොදත් කාරනයනම් ඔහු අත මුදල් ගැවසෙන්නේ තම මව සතුව මුදල් ගැවසෙනතාක් පමණක් බවය. තවද ඔහු හට සුලු මුදලක් ලැබුණු සෑම විටකම තම මවගෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වියඳම් වූ බවද ඔහු නොදනී. මෙම සංසිද්ධියෙන් දීර්ග කාලීනව මව වැයවෙයි. මවට මුදල් ලැබීමේ ක්‍රියා දාමයක් මෙහිතුල නැත. මවගේ සියලු සම්පත් ක්ෂය වී හමාරවූ පසු පුතාට ද ඩැහැ ගැනීමට කිසිවක් නැත. පුතාට මුදල් ඉපයීමට වෙනත් ක්‍රියාදාමයක්ද නැත. තමා පුරුදු වූ ජීවිතය කෙලෙස හෝ අත්පත් කර ගැනීම ඔහුගේ අරමුණයි. මෙවන් තත්ත්වයකට පත්වූ පසු ඔහු සහ මව ගන්නා ක්‍රියා මාර්ග කුමක්ද? අද අප රට පත්වී ඇති ස්වභාවයත් රට සය එහි වැසියන් එයට ගන්නා ක්‍රියා මාර්ගත් මෙයට සමාන නොවන්නේද?

අද රටෙහි බහුතරයක් (95% කට වැඩි) සුපිරි වෙළඳ ව්‍යාපාර රටෙහි මුදල් පිටරට යවමින් මිනිසුන්ගේ සුඛවිහරනය සලසන්නේ නොවේද? මොවුන් කරන්නේ රටතුල තිබෙන ජනතාවගේ මුදල් පිටරට යවා එයින් සුලු කමිෂන් එකක් ලබාගෙන තමාගේ දියුණුව සලසා ගැනීම නොවේද?

සිතන්න ඔබ එවන් ව්‍යාපාරයක සේවකයෙක් නම් ඔබ උපයන මාස් පඩිය කොහෙන් ලැබුනේද? ඔබ ඔබේ සුඛවිහරනය ලබන්නේ රටෙන් පිටතට ඇදීයන මහා ධනස්කන්දයකින් හැලුණු මස් කටු කැබැල්ලකින් නොවේද? මෙසේ ඇදී යන්නේ අද සමාජයේ මිනිසුන් විසින් පතන සුකුරුත්තන් සැපයීමටය. අප සියලූ දෙනා දෑස් අයා බලා සිට්න්නේ ලොකයේ අලුත්ම ජංගම දුරකථනය, අලුත්ම වාහනය, අලුත්ම රූපවාහිනී යන්ත්‍රය මිල දී ගැනීමටය. නමුත් කෙනෙකු  පුද්ගලිකව වියදම් කරනා එ මුදල් කෙලෙස පැමිනියාදැයි කිසිවෙක් නොසිතයි. එය මා මුලින් විස්තර කල මවගේ පුත්‍රයාට සමානය.

ජංගම දුරකථන,   රූපවාහිනී යන්ත්‍ර, වාහන අප පාව්ච්චි නොකල යුතුද, එසේ ගල් වැද්දන් සේ අපට සිටිය නොහැක යයි ඇතමෙක් තර්ක කල හැක. නමුත් මෙහිදී වැදගත් වන්නේ අඤාණ තර්කය නොව, මිනිසුන්ගේ සැබෑ සංකල්පනීය හා ආකල්ප වෙනසකුයි. චීනය, ජපානය, යුරෝපීය රටවල් සහ බෙහෝ දියුණු රටවල් තමන්ට අවශ්‍ය දෑ තමුන් නිපදවන අතර ඔවුන් ඒවා, දෑස් අයා සිටින රටවල් කරාද යො

මුකරවා එම රටවල තිබෙන සුලු හෝ ධනය ඇද ගනියි.  ඇතමෙක් තර්ක කල හැකියි, අපවන් රටක සම්පත් හිඟයි යනුවෙන්. ජපානය යනු වැඩකට නැති කඳූ සහිත බිම් රටෙන් 70% වඩා පවතින රටකි. මෙහිදීද වැදගත් වන්නේ අඤාණ තර්කය නොව, මිනිසුන්ගේ සැබෑ සංකල්පනීය හා ආකල්ප වෙනසකුයි.

shame-on-you

 

මා නැවතත් මව සහ පුතා දෙසට යොමු වෙන්නමි අපට කල හැක්කේ කුමක්ද  යන්න සලකා බැලීමට. පුතාට මුදල් ඉපයීමට වෙනත් කිසිම දකෂතාවයක් නැතිනම්, කල හැකි වඩාත් නිවැරදි දෙය වන්නේ තම මවගේ ගොටුකොල නිෂ්පාදනය, ගෙවත්තේ එලවලු ඵලදාව හෝ මවගේ නිමි ඇඳුම් නිෂ්පාදනයට ගැනුම් කරුවන් සොයා, අලෙව් කොට ලැබෙන මුදලින් කොටසක් තමා ලඟ තබාගෙන කොටසක් මවට ලබා දීමයි. මෙය මුදල් දී යමක් ලබා ගැනීමට වඩා බෙහෙව්න් අමාරු කාර්‍ය්‍යකි. යමක් නිෂ්පාදනය කිරීමත් එයට ගැනුම් කරුවන් සෙවීමත් අපහසු වන අතර එය දකෂතාවයකි. නමුත් දීර්ග කාලීනව සාර්ථක ප්‍රතිඵල ගෙනෙයි. මෙහි මහත් වෙනස පාඨක ඔබට තේරුම් ගැනීමට හැකියි සිතමි. පුතා මෙලෙස ලබන ආදායම සැබෑ ආදායමකි. මන්ද යත්, ලැබුණු මුදල් පුතා සහ අම්මා යන පද්ධතියට පිටතින් සැබෑ ලෙස පැමිණි බැවිනි.

මෙයින් වැට‍හෙන්නේ නිෂ්පාදනය රටකට කෙතරම් වැදගත් ද යන්නයි. රටක දියුණුව එහි නිෂ්පාදන හැකියාව මත මිස කෙතරම් සුකුරුත්තමි පවතීද යන්න මත රඳා නොපවතී. දල දේශීය නිෂ්පාදිතය රටේ ශක්තිමත් භාවය පිලිබිඹු කරන අතර ඒක පුද්ගල ආදායම මඟින් එය නිර්ණය කල නොහැක. මන්ද යත් මා පෙර ව්ස්තර කල පරිදි ආදායම සෑම විටව සැබෑ ආදායමක් නොවිය හැකි බැවිනි.

Shamelesslk. All rights reserved 2012-12-30

ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩියි

රටක දියුණුව එහි වෙසෙන මිනිසුන් විසින්ම ඇති හෝ නැති කරගන්නකි. මෙහිදී තම තමන් විසින් සමාජයට කොතරම් සේවාවක් කෙරෙන්නේද යන්න ඉතාම වැදගත්ය. දියුණු සමාජයන්හි එක් එක් තනි පුද්ගලයකු වශයෙන් බහූතරයක්,  තමා ජීවත්වන සමාජයට උපරිමයෙන් දායක වීම වැදගත් කොට සලකයි. මෙවන් සමාජයක උසස් ජීවන තත්වයක් එකිනෙකාට පෙරලා ලැබෙන්නේ එය දෙවියන් ඹවුනට පමණක් රහසේ දුන්නාක් මෙනි. තමාගේ හුදු දියුණුව පමණක් අපේක්ෂා කරන හා ඒ සදහා පමණක් කටයුතු කරන සමාජයක දියුණුව, ඒ ඒ තනි පුද්ගලයා විසින්ම අනෙකාගෙන් උදුරා ගනිමින්, තාවකාලික, ව්‍යාජ,  මායාවක් ලෙස අත් විදියි. නමුත් දීර්ග කාලීනව එක් අයෙකුවත් සමාජයක් වශයෙන් සැබෑ දියුණුවක් අත් නොවීදී. මෙවන් සමාජයක අනෙකාගෙන් උදුරා ගැනීමට, නිකරුනේ එකිනෙකා සමග තරග වැදීමට, හරි ලෙස ලෝකයා පිලිගත් බොහෝදේ කඩකිරීමට, තමා සතු යුතුකම් පැහැර හරීම ඇතුලු තවත් බොහෝ අකටයුතුකම් කිරීමට කිසිම ලැජ්ජාවක් නොදක්වන අතර හරි දේ කිරීමට තැත් කරන, අකටයුතුකම් වලින් ඉවත්ව ඉන්නා පුද්ගලයන් ලැජ්ජාවට ලක්කරවීම ඉතාම සුලභ දර්ශණයකි.

මෙම බ්ලොග් ලිපිවල මූලික පරමාර්ථය වන්නේ ලැජ්ජා විය යුතු දේ පෙන්වා දී මිනිසුන් අතර අකටයුතුකම් කෙරෙහි ස්වයං ලැජ්ජාවක් ඇති කරවීමත්, සමාජයක් ලෙස සාමූහිකව අකටයුතු කරනවුන් දෙස පිලිකුලෙන් බැලීමත්, ඹවුන් ලැජ්ජාවට පත්කිරීමත් සමග මූලික වශයෙන්ම අකටයුතු කමින් අපහසුවෙන් හෝ මිදී ඉන්නවුන් සංඛ්‍යාව වැඩි කිරීමත්ය. මෙ මගින් සාමූහිකව සමාජයීය දියුණුව හා එමගින් තනි තනි වශයෙන් ද දියුණුව ඇතිවීම හේතු-ඵල දහමට අනුව නිසැකය.

අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනො
තේ සාරං නාධි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා

සාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතො
තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා